#BENDGATE හි අවසානය මෙසේ සටහන් කරමු

5 comments
#BENDGATE හි අවසානය මෙසේ සටහන් කරමු


ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus වෙළඳපොළට නිකුත් කොට මේ වන විට දින කිහිපයක් ගතව තිබෙනවා.මෙම දින කිහිපය තුළ අයිෆෝන් 6 පරිශීලනය කරන්නන් එය විවිධ ආකාරයෙන් තම එදිනෙදා ජීවිතයේ දී භාවිත කොට තිබෙනවා.මේ අතර විවිධ විශේෂාංග අතින් ඉදිරියෙන් සිටින අයිෆෝන් 6 සහ 6 Plus පිළිබඳව තවත් අලුත් මාතෘකාවක් පසුගිය දින කිහිපය තුළ අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණා.

#bendgate නමින් හඳුන්වන මෙම හෑෂ්ටැග් එක නිර්මාණය වීමට හේතු වී ඇත්තේ ඇපල් සමාගමේ අයිෆෝන් 6 Plus කලිසම් සාක්කුවේ දමාගනිමින් භාවිත කිරීමේදී එය යම් තරමක නැමීමක් සිදුවී එය ඒ අයුරින් ම පැවතීම නිසා ය.මේ පිළිබඳව පසුගියදා Unbox theraphy යූටියුබ් චැනල් එකෙන් අන්තර්ජාලයට නිකුත් කෙරැණු වීඩියෝවක් මඟින් අයිෆෝන් 6 Plus අතින් නමා පෙන්වීම මඟින් මේ සම්බන්ධව කතාව වඩා ජනප්‍රියත්වයට පත් වුණා.මේ වන විට එම වීඩියෝව මිලියන 40 කට වැඩි ප්‍රමාණයක් නරඹා තිබෙනවා.

ඇපල් අයිෆෝන් 6 සහ 6 Plus කියන්නේ ඇපල් සමාගම මෙතෙක් නිපද වූ සිහින් ම අයිෆෝන් පෙළ යි.ඉතින් අයිෆෝන් 6 සහ 6 Plus මෙතරම් සැහැල්ලු වීමට සහ සිහින් වීමට එහි නව හැඩය සහ එය නිපදවීමට යොදාගත් අමුද්‍රවය ද හේතුවනවා.ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus නිපදවීමේ දී එහි බඳ සඳහා ඇලුමිනියම් ලෝහය යොදා ගැනෙන අතර නව අයිෆෝන් වල වැඩි පීඩනයක් එල්ල වන ස්ථාන සඳහා මළ නොබැඳෙන වානේ සහ ටයිටේනියම් ලෝහය යොදා ගනිමින් එම ස්ථාන වඩාත් ශක්තිමත් කර තිබෙනවා.මෙහි භාවිත වන්නේ anodized aluminum ය.එය සාමාන්‍ය ඇලුමිනියම්වලට සාපේක්ෂව ශක්තිමක්බවින් වැඩි අතර දිගුකල් පැවැත්මකට ඔරොත්තු දෙන බවයි ඇපල් සමාගම පවසන්නේ.තව ද අයිෆෝන් 6 සහ 6 Plus හි ඉදිරිපස වීදුරුව සඳහා යොදා ගැනෙන්නේ මේ වන විට ස්මාර්ට්ෆෝන් සඳහා යොදාගත හැකි ලෝකයේ පවතින ශක්තිමත් ම වීදුරු බව ද ඇපල් සමාගම පවසනවා.

මෙසේ අයිෆෝනයේ බඳ සහ ඉදිරිපස වීදුරුව මේ ආකාරයෙන් නිපදවා තිබුණ ද එහි ඇතුළත ඇලුමිනියම්වලින් හෝ වෙනත් ඝණ ද්‍රව්‍යකින් පිරවී නැත.එම නිසා සැලකිව යුතු පීඩනයක් තුළින් අයිෆෝනය නැවීමකට ලක්කළ හැකි ය.ඇපල් සමාගම ඉහත සඳහන් කරන වීඩියෝව සම්බන්ධයෙන් පවසා ඇත්තේ අප එදිනෙදා භාවිතයේදී එල්ලවන පීඩනයට වඩා වැඩි පීඩනයක් එම අවස්ථාවේදී එල්ල කරන බව යි.තවද එසේ අයිෆෝනයක් නැවීයාම ඉතාමත් ම කලාතුරකින් සිදුවිය හැකි බව යි සමාගම ප්‍රකාශ කරන්නේ.එමෙන්ම එම වීඩියෝවෙහි නිරවද්‍යභාවය සම්බන්ධයෙන් ද මේ වන විට විවිධ මත පළ වී තිබේ.

මේ අතර Consumer Reports නැමැති නව උපාංග විමංසනය සහ පරීක්ෂාවට භාජනය කෙරෙන සඟරාවක් මඟින් අයිෆෝන් 6,අයිෆෝන් 6 Plus,අයිෆෝන් 5 සහ එහි තරගකාරී නිෂ්පාදන වන HTC One M8, Samsung Galaxy Note 3 සහ LG G3 යොදාගෙන විද්‍යාත්මක පරීක්ෂණයක් ඔවුන්ගේ පර්යේෂණාගාරය තුළ සිදු කර ඇති අතර ඒ සඳහා ඔවුන් යොදාගෙන තිබෙන්නේ Instron compression නමින් හඳුන්වනු ලබන මෙවැනි පර්යේෂණ සඳහා ම යොදා ගැනෙන යන්ත්‍රයකි.


#BENDGATE හි අවසානය මෙසේ සටහන් කරමු
ඡායාරෑප : www.consumerreports.org

'torture testing' ලෙසින් හඳුන්වනු ලබන මෙම පරීක්ෂණය තුළින් ඉහත සඳහන් කළ ස්මාර්ට්ෆෝන් සඳහා මුලින් රාත්තල් කිහිපයක බරක් තප්පර ගණනාවක් රඳවා තබා ඉන් පසුව රාත්තල් 10 බැගින් වැඩිවන පරිදි පීඩනයක් එම දුරකතනයේ ඉදිරිපස සහ පිටුපස වෙන්වී යන තෙක් එල්ලකරනු ලැබේ.වැඩිදුර තොරතුරු සඳහා පහත වීඩියෝව බලන්න.




HTC One M8
ප්‍රථමයෙන් රාත්තල් 70 ක පීඩනයක් එල්ල කර එය ක්‍රමයෙන් රාත්තල් 10 බැගින් වැඩිකරමින් ඉදිරියට යන අතර HTC One M8 රාත්තල් 90 ක පීඩනයකදී ඉදිරිපස සහ පිටුපස වෙන්වී යයි.

අයිෆෝන් 6
රාත්තල් 70 ක පීඩනයකින් පටන් ගෙන එය රාත්තල් 100ක පීඩනයක දී ඉදිරිපස සහ පිටුපස වෙන් වී යයි.

අයිෆෝන් 6 Plus
රාත්තල් 90 ක පීඩන බරකින් ආරම්භ කොට රාත්තල් 110 ක දී ඉදිරිපස සහ පිටුපස වෙන් වී යයි.

Galaxy Note 3  රාත්තල් 150ක පීඩනයකදී ද LG G3  රාත්තල් 130 ක දී ද අයිෆෝන් 5 130න් පටන් ගෙන 150 දී ද වෙන්වී යයි.මෙම පරීක්ෂණය අවසානයේදී අයිෆෝන් 6 සහ HTC One M8 තවදුරටත් වැඩකරන තත්වයේ පැවතුන අතර Consumer Report සඟරාව පවසන්නේ මේ කිසිම දුරකතනයක් ලේසියෙන් විනාශ කළ නොහැකි අතර එම උපාංග එදිනෙදා භාවිතය සඳහා ගැටලුවක් නොවන බව ය.තවද අයිෆෝන් 6 සහ 6 Plus කියන තරම් පහසුවෙන් නැවිය නොහැකි බව ද ප්‍රකාශ කර සිටියේ ය.Consumer Reports  සඟරාව මඟින් නිකුත් කළ මෙම වාර්තාව නිසා ලොව පුරා විසිර සිටි ඇපල් ලෝලීන්ගේ #BendGate නිසා ඇතිව තිබූ අනවශ්‍ය බිය තුරන් විය.


#BENDGATE හි අවසානය මෙසේ සටහන් කරමු
අයිෆෝන් 6,අයිෆෝන් 6 Plus,අයිෆෝන් 5,HTC One M8, Samsung Galaxy Note 3 සහ LG G3 'torture testing' පරීක්ෂණයෙන් පසුව

මීට අමතරව ඇපල් සමාගමේ ප්‍රධාන දෘඩාංග ඉංජිනේරුවෙකු වන 
Dan Riccio ප්‍රකාශ කර සිටියේ අයිෆෝන් 6 සහ 6 Plus යනු ඇපල් සමාගම මෙතෙක් නිෂ්පාදනය කළ නිෂ්පාදන අතුරින් වැඩියෙන් ම පරීක්ෂාවන්ට ලක් කළ උපාංග වන බවත් සමාගම ප්‍රධාන වශයෙන් විවිධ පීඩන පරීක්ෂණ(Stress Tests) 05ක් පමණ සිදු කර ඇති බවත් ය.ඒවා නම්


  • Three-point bending 
  • Pressure-point cycling
  • Torsion testing
  • Sit tests
  • Real-life user studies

මෙම පරීක්ෂණ කෙරෙන ආකාරය දැක බලා ගැනීමට ඇපල් සමාගම මාධ්‍ය වෙත ද ආරාධනා කොට තිබුණා.මෙසේ විවිධාකාර වූ පරීක්ෂණ යන්ත්‍රානුසාරයෙන් සහ සියයකට අධික ඇපල් සමාගමේ රැකියාවෙහි නිරතවන සේවකයන් ලවා සමාන්‍ය ජීවිතයේදී පවා පරීක්ෂාවට ලක් කරමින් එම පරීක්ෂනවලින් කඩඉම් සීමාවට පැමිණි හෝ කඩඉම් සීමාව ඉක්මවා ගිය පසුවයි නව අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කරනු ලබන්නේ.

මේ වන විට ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus වෙළඳපොළට නිකුත් කොට පළමු දින 3 ඇතුළත එකතුවක් ලෙස මිලියන 10 ක් විකුණා ඇති අතර පසුගිය දින 6 ට ම තම අයිෆෝන් 6 Plus දුරකතනය එදිනෙදා භාවිත කිරීමේදී නැවීමකට ලක් වී ඒ පිළිබඳව පැමිණිලි කොට ඇත්තේ 09 දෙනෙකු පමණි.මෙම අයිෆෝන් සඳහා ඇපල් සමාගම විසින් භාජනය කෙරෙන විශේෂ පරීක්ෂණයකින් පසුව එම අයිෆෝන් සඳහා නොමිලේ නව අයිෆෝනයක් ලබා දීමට සමාගම පියවර ගෙන ඇත.

තවද මෙසේ දෝෂදර්ශනයට ලක් වූ ප්‍රථම උපාංගය අයිෆෝන් 6 Plus නොවේ.මීට පෙර

  • 1984 දී එළිදැක්වූ ප්‍රථම මැකින්ටොෂ් පරිගණකය අඩු රැම් මතකයක්,මෘදුකාංග අල්ප වීම සහ මිල අධික වීම නිසා එයට 'Toygate' නමින් ලේබලයක් ද 
  • 1998 දී ප්‍රතිනිර්මාණය කෙරුණු iMac G3 හි එකල වැඩි පුර භාවිත වූ Floppy Disk Drive එකක් නොමැති වීම නිසා එයට 'Floppygate'  නමින් ලේබලයක් ද 
  • 2001 වර්ෂයේ Powerbook G4 හි ඇතිවුණු Bubble නිසා එයට 'Bubblegate' නමින් ලේබලයක් ද 
  • 2009 වසරේ අයිෆෝන් 3G හි පසුපස කොටස ප්ලාස්ටික් වලිනි නිපදවීම නිසා එහි Cracks(පැලීම්) ඇතිවිය.එම නිසා එයට 'Crackgate' නමින් ලේබලයක් ද 
  • 2010 වර්ෂයේ අයිෆෝන් 4 හි නව හැඩය නිසා භාවිත කරන විට අයිෆෝනයේ ඇන්ටනාව වැසී යාම නිසා එහි Network Signal දෝෂ සහගත විය.එම නිසා එයට 'Antennagate' නමින් ලේබලයක් ද 
  • 2012 වර්ෂයේ නිකුත් කළ අයිපෑඩය චාර්ජ් වීමට වැඩි වේලාවක් ගතවන නිසා එයට 'Batterygate' නමින් ලේබලයක් ද 
  • අයිෆෝන් 4S සහ අයිෆෝන් 5 හි සමහර අයිෆෝන්වල තිරයේ ඉහළ දක්නට ලැබුණු කහ පැහැති ගතිය නිසා 'Yellowgate' නමින් ලේබලයක් ද මීට පෙර කරලියට පැමිණ තිබේ.
ඉහත සඳහන් කළ සමහරක් දෝෂ එම උපාංගවල නව විශේෂාංගයන් වන අතර අනෙක් දෝෂ සඳහා ඇපල් සමාගම විසින් විසදුම් ලබා දෙන ලදී. මෙවැනි දෝෂ මාධ්‍ය සහ වෙනත් සමාගම් මඟින් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දෙමින් ඇපල් සන්නාමය පළුදු කිරීමට උත්සහ කළ ද එම උපාංගවල වෙළඳාම අසාර්ථක වූයේ නැත.

මෙය ආරම්භය ද නොවේ.අවසානය ද නොවේ.මින් ඉදිරියටත් ඇපල් සමාගම විසින් විස්මිත නිර්මාණ ලොවට බිහි කරනු ඇත.ඉතින් මේ සම්බන්ධව ඔබේ අදහස ද මෙම ලිපියට එකතු කරන්න.

5 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

දින 3 ක් - අයිෆෝ‌න් මිලියන 10 ක්...

2 comments
අයිෆෝන් 6 සහ 6 Plus නව වාර්තාවක් තබයි.
ඇපල්හි ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් මහතා ඇපල් Palo Alto Store එකේ නව අයිෆෝනය හඳුන්වාදුන් අවස්ථාවට එක්වෙමින්. 

ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus වෙළඳපොළට නිකුත් කොට අද වනවිට දින කිහිපයක් ගතවී තිබෙනවා.ලොව පුරා විසිර සිටින ඇපල් පාරිභෝගිකයින් දහස් සංඛ්‍යාත පිරිසක් ඇපල් Store වල පෝලිම් ගැසෙමින් නව අයිෆෝන් මිළ දී ගැනීමට එක්රොක් වුණා.එහි ප්‍රතිඵලයක් ලෙස ඇපල් සමාගම අයිෆෝන් 6 මහජනයා වෙත නිකුත් කර දින 3 ක් ඇතුළත අයිෆෝන් 6 සහ 6 Plus මිලියන 10 ක් විකුණා ඇති බව ඇපල් සමාගම නිකුත් කළ වාර්තාවක දැක්වෙනවා.


මෙම සංඛ්‍යාලේඛන සඳහා අදාළ වන්නේ අයිෆෝන් 6 සහ 6 Plus මේ වන විට නිල වශයෙන් නිකුත් කොට ඇති ඇමෙරිකාව,ඕස්ට්‍රේලියාව,කැනඩාව,ප්‍රංශය,ජර්මනිය,හොංකොං,ජපානය,සිංගප්පූරුව,පෝට රිකානුව සහ එක්සත් රාජධානිය යන රටවල සංඛ්‍යාලේඛන යි.ඇපල් සමාගම පසුගිය වර්ෂයේ අයිෆෝන් 5S සහ 5C මිලියන 9 ක් විකුණා තිබෙනවා.ඒ ඇපල් සමාගමේ අයිෆෝන් වෙළදාමේ සැලකිව යුතු වෙළදාමක් ඇති චීනය ද ඇතුළත්ව ය.අයිෆෝන් 6 සහ 6 Plus Pre-order කිරීම ආරම්භ කර පැය 24ක් ඇතුළත මිලියන 4ක් Pre-order කර තිබීම ද විශේෂත්වයකි.ඇපල් සමාගම ලබන සැප්තැම්බර් 26 වන විට තවත් රටවල් 20කට ද මෙම වසර අවසාන වනවිට තවත් රටවල් 115 කට ද නිල වශයෙන් අයිෆෝන් 6 සහ 6 Plus  නිකුත් කෙරෙනු ඇති.


අයිෆෝන් 6 සහ 6 Plus නිල වශයෙන් ශ්‍රී ලංකාවට නිකුත් කොට නැතත් කප්රුක සහ වෙනත් වෙළඳ ආයතන මඟින් අයිෆොන් 6 ලංකාවෙදී මිල දී ගත හැකි ය.

අයිෆෝන් 6 සහ 6 Plus ගැන සියලු දේ දැන ගැනීමට මෙම ලිපිය කියවන්න.

2 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

මේ මොහොතේ ඔබට iOS 8 සිට iOS 7.1.2 වෙත Downgrade කළ හැකි ය.[Updated]

1 comment
ඇපල් සමාගම විසින් ඔවුනගේ නව මෙහෙයුම් පද්ධතිය වන iOS 8 පරිශීලකයින් වෙත නිකුත් කොට දැනට දින කිහිපයක් ගතවී තිබෙනවා.මෙම දින කිහිපය ඇතුළත සැළකිවයුතු ප්‍රමාණයක් iOS 8 වෙත තම උපාංගය යවත්කාලීන කරනු ලැබුව ද iOS 8 සඳහා දැනට පවතින බොහෝමයක් ඇප්ස් යවත්කාලීන නොවී ඇති නිසා Crash වීම,බැටරියෙහි ආයුකාලය,පැරණි උපාංගවල යම් මන්දගාමී තත්වයක් පැවතීම වැනි දෑ(විශේෂයෙන් ම අයිෆෝන් 4S) නිසා බොහෝ දෙනා නැවතත් තම උපාංගය iOS 7 වෙත Downgrade කිරීමට පෙළඹ තිබෙනවා.

මේ මොහොතේ ඔබට iOS 8 සිට iOS 7.1.2 වෙත Downgrade කළ හැකි ය.



මා මේ ලිපිය ලියන මෙහොත තෙක් ම ඔබට ඔබගේ උපාංගය iOS 8 සිට iOS 7.1.2 වෙත සාර්ථකව Downgrade කළ හැකි ය.එය තවදුරටත් වළංගු දැයි දැනගැනීමට මෙම අඩවියට පිවිස ඔබගේ උපාංගය සහ Downgrade කළ යුතු iOS අනුවාදය වන iOS 7.1.2 ඉදිරියෙන් Signing තීරුවේ YES යන්න තිබේදැයි සහතික කර දැන ගන්න.ඇපල් සමාගම මේ වන තෙක් iOS 7.1.2 Signing කරන නිසා තමයි මේ බව කළ හැකි වන්නේ.

පියවර 1

ප්‍රථමයෙන් සියල්ල iTunes වලින් පරිගණකයට හෝ iCloud වෙත Backup කරගන්න.මන්ද කිසියම් ගැටලුවක් පැන නැඟුනොත් නැවත Restore කළ හැකි නිසා.

පියවර 2

ඔබගේ උපාංගයට අදාළ iOS 7.1.2 අනුවාදයේ IPSW ගොනුව Download කර ගන්න.

පියවර 3

Settings/iCloud වෙත පිවිස Find my iPhone Dissable කරන්න.

පියවර 4

iTunes Open කොට ඔබගේ උපාංගය USB කේබලයක් මඟින් පරිගණකයට සම්බන්ධ කරන්න.

පියවර 5

iTunes වලින් අදාළ උපාංගය තෝරා එහි Summery Tab එක වෙත පිවිසෙන්න.

පියවර 6

ඔබ මැක් එකක් භාවිත කරනවානම් Option බොත්තම ඔබාගනිමින් ද ඔබ Windows භාවිත කරන්නේනම් Shift බොත්තම ද ඔබා ගනිමින් Restore බටනය Click කරන්න.

සැ:යු - මෙහිදී ඔබගේ ඇපල් උපාංගයේ ඇති සියලු ම දත්ත මැකී යන අතර Restore වූ පසුව ඔබට කලින් Backup කළ iOS 7.1.2 ගොනුවෙන් පසුව Restore කරගත හැකි ය.

පියවර 7

ලැබෙන තිරයෙන් Download කරගත් iOS 7.1.2 අනුවාදයේ IPSW ගොනුව තෝරා Restore කරන්න.

දැන් ඔබේ ඇපල් උපාංගය iOS 7.1.2 වෙත Downgrade වනු ඇත.යම් හෙයකින් ඇපල් සමාගම iOS 7.1.2 Sign කිරීම නවතා දමා ඇත්නම් මෙම ක්‍රමය අසාර්ථක වනු ඇත.

කෙසේවෙතත් ඇපල් සමාගම ඉදිරි iOS 8 අනුවාදයකින් මෙම ගැටලුවලට පිළියමක් ගෙන දෙනු ඇත.

Update 1

ඇපල් සමාගම iOS 7.1.2 sign කිරීම නවතා දමා ඇති අතර එම නිසා ඔබට තවදුරටත් iOS 7.1.2 වෙත Downgrade කළ නොහැකි ය(iOS 7.1.2 shsh blobs ගබඩා කර නොමැති උපාංග).


1 comment :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

මොකද්ද මේ Apple Pay කියන්නේ ?

No comments
අප එදිනෙදා ජීවිතයේදී අන්තර්ජාලයෙන් හෝ සාප්පුවකින් විවිධ දේ මිළදීගනු ලබනවා.එහිදී අපි එම ගෙවීම් මුදලෙන් හෝ ඔබ භාවිත කරන Credit හෝ Debit කාඩ්පතෙන් ගෙවනු ලබනවා.භාවිතයේ පහසුව සහ තරමක ආරක්ෂාකාරීබවක් ඇති නිසා සාපේක්ෂව කාඩ්පත් මඟින් වැඩියෙන් ගෙවීම් කරන්න අප පෙළඹිලා තිබෙනවා.එහෙත් මීට වඩා සරල ආරක්ෂාකාරී ඉක්මන් ක්‍රමයක් ඇපල් සමාගම පසුගිය සැප්තැම්බර් මස 09 වැනිදා හඳුන්වා දුන්නා.මෙම අලුත් විශේෂාංගයේ නම තමයි Apple Pay කියන්නේ.

මොකද්ද මේ Apple Pay කියන්නේ ?

අප මේ මොහොතේ භාවිත කරන Credit හෝ Debit කාඩ්පත්වල තාක්ෂණය දශක පහක් පමණ පැරණි ය.මෙම ක්‍රමය භාවිත කිරීමේදී ඇතිවන අපහසුතා,ගැටලු සහ එහි අනාරක්ෂිත බව මඟහරවා ගැනීමට විවිධ ක්‍රම මේ වනවිට අත්හදා බැලුව ද ඒවා මෙතෙක් සාර්ථක වී නැහැ.ඉතින් ඇපල් සමාගම මීට පිළියමක් ලෙස Apple Pay හඳුන්වාදුන් අතර මෙමඟින් යම් ගෙවීමක් සාර්ථකව අවසන් කිරීමට ගතවන්නේ තප්පර කිහිපයක් පමණි.

Apple Pay අප භාවිත කිරීමට පෙර අප අපගේ අයිෆෝනයට අප භාවිත කරන කාඩ්පත්වල තොරතුරු ඇතුළත් කිරීමට අවශ්‍ය වනවා.ඒ සඳහා Passbook ඇප් එක හරහා අයිෆෝනයේ කැමරාව භාවිත කරමින් කාඩ්පත Scan කෙරෙන අතර ඉන් පසුව අප බැංකුව වෙත ගොස් එම කාඩ්පතේ හිමිකම අපගේ යැයි තහවුරු කළ පසු එය ඇපල් Pay සමඟ භාවිත කිරීමට හැකියාව පවතිනවා.එහෙත් මෙහිදී අපගේ කාඩ්පතේ කිසිදු තොරතුරක් ඇපල් සමාගම විසින් ගබඩා කරගන්නේ නැති අතර ඒ වෙනුවට අපගේ ඇපල් උපාංගයට පමණක් අවේණික ගිණුම් අංකයක් ජනනය(Generate) කරනු ලබනවා.මින් ඉදිරියට ගෙවීම් සඳහා භාවිත වන්නේ අපගේ කාඩ්පත් අංකය නොව එසේ ඇපල් විසින් ජනනය(Generate) කළ ගිණුම් අංකය යි.එය අයිෆොන් 6 හි අඩංගු Secure Element නැමැති නව චිප් පතේ ගබඩා වනවා.තවද නව අයිෆෝනය ප්‍රථම වතාවට Setup කිරීමේදී අප iTunes සඳහා භාවිත කළ කාඩ්පත් ද මේ සඳහා භාවිත කිරීමේ හැකියාව පවතිනවා.

Apple Pay භාවිත කර ගෙවීමක් කිරීමේදී නව අයිෆෝනයේ අඩංගු NFC,Touch ID සහ Secure Element නැමැති චිප් එක යොදා ගැනෙනවා.අයිෆෝනයේ කිසිම ඇප් එකකට පිවිසෙන්නේ නැතිව තම ඇඟිල්ල Touch ID මත තබාගෙන අයිෆෝනය අදාළ  NFC Reader' උපාංගයට ළං කළ යුතු වේ.එහිදී එම ගනුදෙනුව සඳහා ම ජනනය කරන ලද අංකයක් සමඟ විටින් විට වෙනස්වන Security Code එකක්(Credit හෝ Debit කාඩ්පත්වල පිටුපස සඳහන්වන අකුරු 3 හෝ 4 ආරක්ෂිත අංකය වෙනුවට) එක් කොට එම තොරතුරු  Secure Element නැමැති චිප් එකේ ගබඩා වනවා.අපගේ ඇගිලි සළකුණ තහවුරු වූ සැණින් බීප් හඩක් නඟමින් ගනුදෙනුව ද සාර්ථකව නිම වේ.ඇත්තට ම මෙම ගනුදෙනුව සිදු වන්නේ අපගේ බැංකුවත් අදාළ වෙළඳ ආයතනයත් අපත් අතරත් පමණි.ඇපල් සමාගම අප ගත්තේ මොනවද,කොහෙන්ද ගත්තේ,කීයක් ගෙවුවද වගේ දේවල් ගබඩා කරගනු ලබන්නේ නැහැ.තවද මෙම ගනුදෙනුව සිදුවන විට අපගේ කිසි ම තොරතුරක් වෙළඳ ආයතනයේ මුදල් අයකැමිගේ(Cashier) අතට පත්වන්නේ නැත.

මෙම සේවාව ඇමෙරිකාවේ American Express,Master Card,Visa කියන කාඩ්පත් වර්ග සහ ප්‍රධාන පෙළේ බැංකු කිහිපයකුත් McDonalds, Nike, Disney Stores ඇපල් Retail Store වගේ වෙළදායතනත් මේ වන විට මෙම සේවාව ලබා දීමට සූදානමින් සිටියි.තවද Target,Groupen වැනි Online Store වල දී ද මෙම සේවාව අත්විඳිය හැකි අතර ඔබ ගෙවීම් කරන විට Apple Pay සළකුණ තෝරා ලැබනෙ මෙනූවේ Shipping Address වැනි තොරතුරු නිවැරදිනම් සාමාන්‍ය පරිදි Touch ID එක භාවිත කරමින් ගෙවීම් කළ හැකි ය.


මොකද්ද මේ Apple Pay කියන්නේ ?


මෙහි තවත් වැදගත් විශේෂාංගයක් වන්නේ අපට අපගේ අයිෆෝනය නැතිවුවහොත් අපට Find My iPhone මඟින් අප කරන ලද සියලු ම ගනුදෙනු අවලංගු කර දැමිය හැකි අතර කාඩ්පත්වල තොරතුරු අයිෆෝනයේ ගබඩා නොවන නිසා මෙහිදී කාඩ්පත් අවලංගු කිරීමට අවශ්‍ය වන්නේ නැත.

මෙම සේවාව එළැබෙන ඔක්තෝබර් මස ඇමෙරිකාව තුළ ආරම්භ වන අතර Apple Pay API එක සෑම ඇපල් Developer කෙනෙකුට ම භාවිත කිරීමේ හැකියාව ලබා දී ඇත.නමුදු මෙම සේවාව අපේ රටට පැමිණෙන විට ටික කලක් ගතවනු ඇති අතර මෙම සේවාව සඳහා අයිෆොන් 6,අයිෆෝන් 6 Plus හෝ ඇපල් වොච් තිබීම අනිවාර්ය වනවා.හැබැයි Kapruka Global Shop ඇපල් වොච් ගෙන්වීමට මේ වන විටත් සූදානම් නිසා ඔවුන්ගේ ගෙවීම් ක්‍රමයටත් Apple Pay එකතු කළහොත් සමහර විට Apple Pay භාවිත කරල ඇපල් වොච් එකත් ගෙන්වාගන්න පුළුවන් වේවී.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගත යුතු සියලු දේ...

8 comments
ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...


අප බලාපොරොත්තු වූ පරිදි ම ඇපල් සමාගම පසුගියදා De Anza Community College වල Flint Center නැමැති ස්ථානයේ පැවැති විශේෂ උත්සවයේදී ඔවුනගේ නව අයිෆෝන් අනුවාද ප්‍රකාශයට පත්කෙරුණා.පසුගිය වර්ෂයේ මෙන් ම මෙවර ද ඇපල් සමාගම අයිෆෝන් අනුවාද දෙකක් නිවේදනය කළා.ඒ අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 ප්ලස්(Plus) ය.මෙම අයිෆෝන් පසුගිය දිනවල අන්තර්ජාලයට නිකුත් වූ  නිළ නොලත් ඡායාරෑප සහ තොරතුරුවලට බොහොසෙයින් සමාන වීම ද විශේෂත්වයකි.මේ ඒ පිළිබඳව කෙරෙන සංශිප්ත සටහනකි.

හැඩය සහ නිමාව

අප බලාපොරොත්තු වූ පරිදි ම ඇපල් සමාගම අයිෆෝන් 6 සහ 6 Plus නැවුම් හැඩයක් ගෙන තිබෙනවා.පසුගිය දිනවල අන්තර්ජාලයට නිකුත් වුණු හැඩයට සමාන හැඩයක් මෙය ගෙන තිබෙනවා.මෙම අයිෆෝන්වල බඳ වැඩි වශයෙන් වානේ යොදාගෙන නිර්මාණය වී ඇති අතර මෙය පස්වන පරම්පරාවේ අයිපොඩ් ටච් හි හැඩයට සමාන පෙනුමක් ගන්නා අතර මෙම අයිෆෝනයන් මෙතෙක් ඇපල් සමාගම නිර්මාණය කරන ලද සිහින් ම අයිෆෝනයන් ද වනවා.අයිෆෝන් 6  මිලිමීටර් 6.9ක ඝණකමකිනුත් 6 Plus මිලිමීටර් 7.1ක ඝණකමකිනුත් යුක්ත වනවා.තවද භාවිතයේ පහසුව තකා අයිෆෝනයේ Power බටනයෙහි පිහිටීම වෙනස් කොට තිබෙනවා.


ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...

තිරය

නව Retina HD තිරයකින් සමන්විත මෙය ඇපල් සමාගම ප්‍රකාශ කරන්නේ එය මේ වන විට වෙළඳපොලේ ඇති හොඳම ස්මාර්ට් ෆෝන් තිරය බව යි. අයිෆෝන් 6 හි තිරය අඟල් 4.7 කින් එනම් 1334*750 ක Resolution එකකින් ද(අඟලකට පික්සෙල් 326ක්) 6 Plus හි තිරය අඟල් 5.5 කින් එනම් 1920*1080 ක Resolution එකකින් ද (අඟලකට පික්සෙල් 401ක්)  සමන්විත වනවා.මෙම නිසා අයිෆෝන් 6  හි තිරයේ පික්සෙල් මිලියනයකට වැඩි සහ 6 Plus තිරයේ මිලියන දෙකකට වැඩි පික්සෙල් ප්‍රමාණයක් ගැබ්ව පවතිනවා.මෙයින් ජනනය කෙරෙන වර්ණ පූර්ණ වශයෙන් sRGB Color ප්‍රමිතියට අනුව නිපදවා ඇති අතර මෙම තිරයෙන් දීප්තිමත් ගුණාත්මක බවින් ඉහළ පිංතූර ලබා දේ.තද හිරු එළියේදී,අව්කණ්නාඩි පැළඳ සිටියදී පවා දීප්තිමත් පිංතූර ජනනය කිරීමේ හැකියාව  මෙම Retina HD තිරයේ අඩංගු කර ඇති වැඩිදියුණු කරන ලද Polarizer එකෙන් ලබා දේ.



ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...

නව A8 ප්‍රොසෙසරය

අයිෆෝන් 6 සහ 6 Plus සමඟ පැමිණෙන ප්‍රොසෙසරය හඳුන්වන්නේ A8 කියාය.එය අයිෆෝන් 5S හි දක්නට ලැබුනු A7 ප්‍රොසෙසරයට වඩා 13% ක් කුඩාවන අතර දෙවන පරම්පරාවේ 64 bit ආකෘතියකින් යුක්ත වේ.ට්‍රාන්සිස්ටර් මිලියන දෙකකට වඩා ඇති ඇපල් A8 ප්‍රොසෙසරය A7 ට වඩා 25% ගුණයක් වේගවත් වන අතර ප්‍රථම අයිෆොනයට වඩා 84% ක ඉහළ graphic කාර්යක්ෂමතාවයකින් සමන්විත වනවා.අයිෆෝන් 6 සහ 6 Plus හි තවත් විශේෂත්වයක් වන්නේ පසුගිය අයිෆොන්වල මෙන් නොව මෙහි අඩංගු sustained performance විශේෂාංගය නිසා එකදිගට විවිධ වැඩ ප්‍රමාණයක් අයිෆෝනය භාවිත කරමින් කළද එය රත්වන්නේ නැත.මෙය අයිෆෝන්වලින් ගේම් ගහන අයටනම් හොඳ ආරංචියක්.


ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...
ඇපල් A8 ප්‍රොසෙසරය ප්‍රථම අයිෆෝනයට වඩා 50% ගුණයක් වේගවත් වේ.

බැටරියෙහි ආයු කාලය

අයිෆෝන් 5S සමඟ සැසදීමේදී අයිෆෝන් 6 හි බැටරියේ ආයුකාලයෙහි සැලකිව යුතු වැඩි වීමක් දක්නට ලැබෙනවා.එම නිසා අයිෆොන් 6 හි බැටරියේ කාර්යක්ෂමතාවය පිළබඳව සතුටු විය හැකි ය.පහත රෑප සටහනින් ඒ බව ඔබට පැහැදිලි වනු ඇත.


ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...

M8 Coprocessor චීපය 


පසුගිය වර්ෂයේ අයිෆොන් 5S සමඟ හඳුන්වාදුන් M7 Coprocessor ය මෙවර තරමක් වැඩිදියුණු කර තිබෙනවා.අයිෆෝනයේ පවතින සංවේදක වන accelerometer, compass, gyroscope වලින් ගැනෙන තොරතුරු ගබඩා කරගනු ලබන්නේ මෙහි ය.මීට අමතරව මෙම නව M8 Coprocessorයට barometer නැමැති සංවේදකය තුළින් ඔබ ගමන් කරන දුර සහ ප්‍රථමවරට ඔබ පඩිපෙළක් නඟින එක පවා මෙමඟින් විශ්ලේශනය කළ හැකි ය.මේ සියලු තොරතුරු ඇපල් iOS 8 සමඟ පැමිණෙන Health ඇප් එකෙන් බලා ගන්නට පුළුවන.මේ වනවිටත් Nike සමාගම තම Fualband ඇප් එක සඳහා මෙම පහසුකම යොදාගනු ලබනවා. 

වැඩිදියුණු කරන ලද සබඳතාවයන්

ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...
150mbps වේගයක් සහිත වැඩිදියුණු කරන ලද LTE පහසුකම වෙනත් ස්මාර්ට් ෆෝන්වල මෙන් නොව Band 20 ක් දක්වා සහය දක්වන අතර ලොව පුරා LTE සේවාව සඳහා සහය දක්වන දුරකතන සේවා සැපයුම් සමාගම් 200ක් සඳහා සහය දක්වනවා.තවද අයිෆෝන් 6 සමඟ හඳුන්වාදෙනු ලබන VoLTE (Voice over LTE) මඟින් LTE ඩේටාවලට අමතරව Voice ඩේටා ද හුවමාරු කර ගත හැකිය.මෙමඟින් වඩාත් පැහැදිලි ඇමතුම් අපට ලබා ගත හැකි අතර Voice සමඟ Data ද ලබා ගත හැකි ය.තවද අයිෆෝන් 6 සහ 6 Plus තුළ අන්තර්ගත කර ඇති 802.11ac මඟින් පෙරට වඩා තුන්ගුණයක් වේගවත් Wifi සබඳතාවයක් ලබාගතහැකි ය.මීට අමතරව වර්තමානයේ වැඩි වශයෙන් භාවිත වන NFC(Near Field Communication) තාක්ෂණයද මෙම අයිෆෝනයට එකතු කර ඇති අතර ඇපල් සමාගම විසින් හඳුන්වාදුන් Apple Pay(NFC සහ Touch ID යොදාගෙන ගෙවීම් කරන ක්‍රමයකි) සඳහා මෙම පහසුකම ප්‍රධන වශයෙන් භාවිත වේ.Apple Pay ගැන දැනගන්න මෙම ලිපිය කියවන්න.

WiFi-Calling පහසුකම

අයිෆෝන් 6 සහ 6 Plus සමඟ හඳුන්වා දෙන WiFi-Calling පහසුකම මඟින් අපට අපගේ අයිෆෝනයේ Network සිග්නල් අඩු ස්ථානයක හෝ සිග්නල් නැති ස්ථානයක සිටියත් අපට හොඳ Wifi සබඳතාවයක් ඇත්නම් Wifi හරහා පැහැදිලි ඇමතුම් ලබා ගැනීමට හැකියාව ඇති අතර අප Network සිග්නල් ඇති ස්ථානයකට පැමිණි විට දුරකතන ඇමතුම විසංධි නොවී Wifi Network එකෙන් Cellular Network එකට ගැටලුවකින් තොරව මාරැ වේ.

කැමරාව

ඇපල් අයිෆෝන් 4S සිට ඇපල් සමාගම අයිෆෝන් සඳහා භාවිත කරන්නේ මෙගා පික්සෙල් 8 ක කැමරාවකි.එතැන් සිට විවිධාකාරයෙන් අයිෆෝනයේ කැමරාවෙහි විශේෂාංග සහ එය යොදාගන්නා තාක්ෂණය වෙනස් වූවද අයිෆෝන් කැමරාවෙහි මෙගා පික්සෙල් ගණන වෙනස් වූයේ නැත.මන්ද කැමරාවක මෙගා පික්සෙල් ගණන වැඩි කිරීමට වඩා එහි ගුණාංග ඉහළ දැමීම තුළින් එමඟින් ලබා ගන්නා ඡායාරෑපවල ගුණාත්මක බව වැඩිවන බවයි ඇපල් සමාගමට පැවසන්නේ.මේ බව පසක් කරමින් ඇපල් සමාගම මෙම නව අයිෆෝනයේ කැමරාව සඳහා නව තාක්ෂණයන් කිහිපයක් භාවිත කර තිබෙනවා.

ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...


මෙම නව අයිෆෝනයේ අඩංගුවන iSight කැමරාවෙහි ඇතුළත් විශේෂාංගයක් වන්නේ Focus Pixel තාක්ෂණය යි.මෙම තාක්ෂණය ඉහළ මට්ටමේ DSLR කැමරාවල ද යොදා ගැනෙන අතර මෙමඟින් පෙරට වඩා ඉක්මණින් සහ හොඳින් ඔබ ලබාගන්නා ඡායාරෑපය Focus කර ගනී.තවද මෙමඟින් ලබා ගන්නා ඡායාරෑපයේ අපැහැදිලිබව අවම කරයි(Noise reduction).තවද වැඩිදියුණු කරන ලද Face Detection තාක්ෂණය මඟින් ඔබට ඡායාරෑප කිහිපයක් ගෙන හොඳම ඡායාරෑපය ඔබට ගෙන දෙන අතර මේ සඳහා ඇපල් A8 ප්‍රොසෙසරයේ ඇති Image Signal Processor යොදා ගනී.

මෙහි තවත් වැදගත් විශේෂාංගයක් වන්නේ Optical Image Stabilization තාක්ෂණය යි.Image Stabilization කියන්නේ අප ඡායාරෑපයක් ලබා ගන්නා අවස්ථාවේ අපේ කැමරාව සෙලවෙනවා නම්(Unstable) අප ලබා ගන්නා ඡායාරූපය පැහැදිලි එකක් වන්නේ නැත.මෙම තත්වය මඟහරවා ගැනීමට Image Stabilization තාක්ෂණය යොදා ගනී.අයිෆෝන් 6 හි ඩිජිටල් ක්‍රමයට ඡායාරෑපය Stabalize කර ගත්ත ද අයිෆෝන් 6 Plus හි භාවිත වන Optical Image Stabilization තාක්ෂණය මඟින් කැමරා Lens එක ඉදිරියට සහ පිටුපසට ත් වම්පසට සහ දකුණුපසට ත් ඉහළට සහ පහළට ත් චලනය වෙමින් සහ අයිෆෝනයේ පවතින නව gyroscope එක භාවිත කරමින් ඡායාරෑය Stabalize කරගනී.

ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...
අයිෆෝන් 6 මඟින් ලබා ගත් ඡායාරෑපයක්

මීට අමතරව අයිෆෝන් 6 කැමරාවෙන් Video පටිගත කිරීමේ දී නව තාක්ෂණයන් යොදා ගැනේ.1080p වීඩියෝ පටිගත කිරීමේදී මෙහි තප්පරයකට රෑප රාමු 60ක්(60fps) යොදා ගැනෙන අතර 720p Slow Motion වීඩියෝ පටිගත කිරීමේදී 240fps භාවිත කරයි.තවද මෙහි භාවිත වන Continuous Autofocus මඟින් අප වීඩියෝ පටිගත කිරීමේදී ප්‍රධාන Object(වස්තුව) එක දිගට,මාරැවෙන් මාරුවට Focus වේ.මේ සඳහා ද යොදා ගැනෙන්නේ Focus Pixel තාක්ෂණය යි.මෙසේ වීඩියෝ පටිගත කිරීමේදී  Cinematic Video Stabilization තාක්ෂණය යොදා ගැනෙන නිසා පටිගත කිරීමේදී අප/අප සිටිනා ස්ථානය කෙතරම් Unstable වුවද එයින් වීඩියෝවට බලපෑමක් ඇති වන්නේ නැහැ.

ඇපල් අයිෆෝන් 6 සහ අයිෆෝන් 6 Plus ගැන ඔබ දැනගතයුතු සියලු දේ...
අයිෆෝන් 6 හි වැඩිදියුණු කරන ලද Facetime කැමරාව මඟින් තප්පරයකට ඡායාරෑප 10 ක් ලබා ගත හැකි අතර එසේ ලබා ගන්නා ඡායාරෑප විශ්ලේෂණය කොට ඇස් පියවී නැති ගුණාත්මක මට්ටමෙන් ඉහළ ඡායාරෑපය අපේ තිරයට ලබා දේ.තවද වැඩිදියුණු කරන ලද HDR තාක්ෂණය Facetime කැමරාවට යොදා ගැනෙන නිසා ගුණාත්මක මට්ටමෙන් ඉහළ ඡායාරෑප සහ වීඩියෝ අපට ලබා ගත හැකිය.විශේෂයෙන් ම ගුණාත්මක මට්ටමෙන් ඉහළ Selfies අපට ලබා ගත හැකි ය.

ප්‍රධාන වශයෙන් මෙම විශේෂාංගවලට අමතරව ඇපල් සමාගම අයිෆෝන් 6 Plus සඳහා අයිපෑඩයේ මෙන් Landscape Mode එකක් හඳුන්වා දී තිබෙනවා.මෙමඟින් තවත් විශේෂාංග රැසක් අයිෆෝනයට එක් වේ.පසුගිය වසරේ හඳුන්වා දුන් Touch ID පහසුකම මෙම අයිෆෝනයේත් දක්නට ලැබුණු අතර iOS 8 සමඟ මෙම Touch ID පහසුකම තෙවන පාර්ෂවයේ ඇප් සඳහාද යොදාගත හැකි ය.අයිෆෝන් 6 සහ 6 Plus පෙර අයිෆෝන් වලට වඩා තිරය ප්‍රමාණයෙන් වැඩි බැවින් අපහසුතාවයකින් තොරව එක් අතකින් භාවිත කිරීම සඳහා Reachability නැමැති විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.මෙමඟින් ඔබට තිරයේ ඉහළට වන්න ඇති දෙයක් ටච් කිරීමට අවැසි විටෙක අයිෆෝනයේ Home බටනය දෙවරක් ටච් කළ විට අයිෆෝනයේ තිරය පහළට තල්ලු වේ.තවද අයිෆෝන් 6 සහ 6 Plus හි තාක්ෂණික තොරතුරු තවදුරටත් ලබා ගැනීම සඳහා ඇපල් නිළ වෙබ් අඩවියට පිවිසෙන්න.

මෙවර අයිෆෝන් පෙළේ ගිගාබයිට් 32 ක ධාරිතාවයකින් යුතු අයිෆෝනයක් දක්නට නොලැබෙන අතර එය 16GB,64GB සහ හඳුන්වාදෙන 128GB ධාරිතාවයන්ගෙන් සමන්විත වේ.Silver,Gold සහ Space Gray යන වර්ණයන්ගෙන්  අයිෆෝන් 6 සහ 6 Plus නිකුත් කර ඇති අතර අයිෆෝන් 6 16GB,64GB,128GB ධාරිතාවයන්ගෙන් යුතු සංස්කරණයන් පිළිවෙලින් ඇමෙරිකානු ඩොලර් 649,749,849 ක් ද අයිෆෝන් 6 Plus අයිෆෝන් 6 වලට වඩා ඇමෙරිකානු ඩොලර් 100කින් වැඩි වේ.

ඇපල් අයිෆෝන් 6 සහ 6 Plus තවම ශ්‍රී ලංකාවට නිළ වශයෙන් හඳුන්වාදී නැති අතර පසුගිය 12 වැනිදා සිට ඇපල් සමාගමේ මාර්ගගත ගබඩාවේන්(Online Store) Pre Order කළ හැකි අතර සැප්තැම්බර් 19 වන දින සිට අයිෆොන් 6 වෙළඳපොළට නිකුත්වනු ඇත.තවද ඇපල් iOS 8  සැප්තැම්බර් 17 වන දින සහය දක්වන ඇපල් උපාංග සඳහා නිකුත් කෙරෙනු ඇති.

වඩාත් නිවැරදි සවිස්තරාත්මක ලිපියක් ඔබට ලබා දීමට අවැසි නිසා මෙම ලිපිය ප්‍රචාරය කිරීමට ටිකක් කල්ගත වුණා.එයට මගේ කණගාටුව ප්‍රකාශ කර සිටිනවා.අප මීළඟ ලිපියෙන් ඇපල් වොච් සහ ඇපල් Pay ගැන තවදුරටත් කතා කරමු.අදහස්,යෝජනා එහෙම තියෙනවානම් Comment කරන්න.

8 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

2014.09.09 වන දින බලාපොරොත්තු විය හැකි සියලු දේ...

No comments
2014.09.09 වන දින බලාපොරොත්තු විය හැකි සියලු දේ...

ඇපල් සමාගම විසින් මීට ටික දිනකට පෙර විශේෂ උත්සවයක් (Special Event) නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට තිබෙනවා.මෙය De Anza Community College වල Flint Center නැමැති ස්ථානයේ 2014.09.09 වන දින පවත්වනු ලබන අතර මෙම ස්ථානය 1984 ස්ටීව් ජොබ්ස් විසින් ප්‍රථම මැකින්ටොෂ් පරිගණකය හඳුන්වාදුන් ස්ථානය යි.මෙම Event එකේදී හඳුන්වා දෙනු ඇතැයි බලාපොරොත්තුවන දේවල් මෙසේ ය.

මීළඟ අයිෆෝන් අනුවාදය

මෙදින ඇපල් සමාගම විසින් ඔවුන්ගේ මීළඟ අයිෆෝන් අනුවාදය වන අයිෆෝන් 6 (iPhone Air/iPhone L ලෙසද හඳුන්වනු ඇති බවට මත පවති)මහජනයා වෙත හඳුන්වා දෙනු ඇත.දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව අයිෆෝන් මාදිලි දෙකක් මෙදින හඳුන්වාදීමට(අඟල් 4.7 කින් යුතු තිරයක් සහිත අයිෆෝනයක් සහ අඟල් 5.5 කින් යුතු තිරයක් සහිත අයිෆෝනයක්) ඇපල් සමාගම සූදානම් වන නමුත් මෙම අයිෆෝනයේ අඟල් 5.5 කින් යුතු තිරයක් සහිත මාදිලිය එදින හඳුන්වා දුන්නද මෙම වසරේ අවසානයේදී වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති.තවද මෙම අයිෆෝන් මාදිලිවල මිළ පෙර වසරවලට සාපේක්ෂව ඉහළ යනු ඇතැයි ද මත පළ කෙරෙනවා.
2014.09.09 වන දින බලාපොරොත්තු විය හැකි සියලු දේ...

ඇපල් අයිවොච්

මීට වසර කිහිපයකට පෙර සිට විටින් විට අපට තොරතුරු ලැබුණු ඇපල් අයිවොච් එනම් ඇපල් සමාගමේ අතෙහි පැළදිය හැකි ඔරලෝසුවක් මෙදින හඳුන්වා දෙනු ඇත.මෙයද මෙදින නිල වශයෙන් හඳුන්වාදුන්න ද බොහෝ විට ඇමෙරිකානු ඩොලර් 400 කට පමණ 2015 වර්ෂයේ ප්‍රථම කාර්තුවේ වෙළඳපොලට පැමිණෙනු ඇත.ඇපල් සමාගම මෙම උපාංගය වැඩි වශයෙන් සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාව ඉලක්ක කොට ගෙන නිපදවා ඇති බවත් එය දැනට වෙළදපොලේ ඇති ස්මාර්ට් වොච් වලට වඩා විශේෂාංගවලින් ඉහළ එකක් වනු ඇත.තවද ඇපල් සමාගම පසුගිය කාලය තුළ කිහිප වතාවක් ම Nike වැනි පැළදිය හැකි උපාංග නිපදවන සමාගම්වල ඉහළ නිළධාරීන් කිහිප දෙනෙකු ම මෙම අයිවොච් ව්‍යාපෘතියට යොදා ගැනුණා.


2014.09.09 වන දින බලාපොරොත්තු විය හැකි සියලු දේ...

මැක් OS X යෝසැමිටී සහ iOS 8

මේ වන විටත් ඇපල් මෘදුකාංග ප්‍රවර්ධකයින් සහ ඇපල් බීටා වැඩසටහනට සම්බන්ධ අයවලුන් හට නිකුත් කර ඇති මැක් OS X යෝසැමිටී සහ iOS 8 නිකුත් කෙරෙන දිනය මෙහිදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.විශේෂාංග රුසකින් සහ නව අතුරු මුහුණතකින් සමන්විත මැක් OS X යෝසැමිටී මෙහෙයුම් පද්ධතිය ඇපල් මැක් මෙහෙයුම් පද්ධතිවල සැලකිව යුතු වෙනසක් ඇති කෙරෙන මෙහෙයුම් පද්ධතියක් ලෙස සළකනු ලබන අතර iOS 8 වැඩි වශයෙන් සෞඛ්‍ය සහ ශාරීරික යෝග්‍යතාව කෙරෙහි අවධානය යොමු කොට තිබෙනවා.


මෙම විශේෂ උත්සවය සඳහා ඇපල් සමාගම මාධ්‍ය වෙත මේ වනවිටත් ඇරයුම් කර ඇති අතර එම උත්සවය ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් පස්වරු 10.30 (22.30)ට ආරම්භ වේ.සුපුරුදු පරිදි මෙම උත්සවය ද ඇපල් නිල වෙබ් අඩවියේ සජීවීව විකාශනය කෙරෙනු ඇති.මෙම Special Event එකේ විශේෂ තොරතුරු ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවියේ Twitter සහ Google Plus පිටුවල සජීවීව යවත්කාලීන කෙරෙන අතර නව උපාංග පිළිබඳ විමංසන ලිපි ද හැකි ඉක්මණින් මෙම අඩවියේ පළවනු ඇත.

මෙම ලිපිය හා සැබැඳි අනෙකුත් ලිපි


යවත්කාලීන වීම් 1

දැනට ලැබී ඇති තොරතුරු අනුව ඇපල් අයිවොච් මේ වන විටත් සම්පූර්ණ නිෂ්පාදන කටයුතු පටන්ගෙන නොමැති අතර තවමත් එම නිෂ්පාදනය පර්යේෂණ මට්ටම්වල අවසාන අදියරයන්හි පවති.එමනිසා මෙහි විශේෂාංග සහ හැඩරුව තවදුරටත් වෙනස්වීමට අවකාශය ඇති නිසා මෙම උපාංගය මෙම මස 09 වනදා ප්‍රකාශයට පත් නොකරනු ඇතැයි මත ප්‍රකාශ වේ.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.